Apr 25, 2016


කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පිහිටි අති සුන්දර ඕලු ඇල්ල සහ වවුලගල කඳු තලාව තරණය කිරීම අතිශය චමත්කාර ජනක ත්‍රාසයපිරි සුන්දර අත්දැකීමක්.

වවුලගල වෙත ප්‍රවිෂ්ට වීමට මාර්ග 2ක් භාවිත කළ හැකියි.
1.        බුලත්කොහුපිටිය - දෙදුගල පාරේ කිමි.6 ක් පමණ ගොස් දකුණට හැරී ගමන් කළයුතුයි. වාහනයකින් වවුලගල ආසන්නයටම යා හැකියි.
නැරඹිය හැකි වෙනත් ස්ථාන :
දේදුගල පාරේ දිගටම තවත් කිලෝමීටරයක් පමණ ගිය විට දකුණු පසින් උසින් මී.40 පමණ වන නළගන ඇල්ල දැකිය හැකියි. ඇල්ල අසළටම ගමන් කළ හැකියි (ගම්මුන්ගෙන් අසා යන්න මීටර් 500ක් පමණ පයින් යා යුතුයි . නලඟන ඇල්ල පාමුල දිය නෑම අවදානම්.)
දෙදුගල පාරේ දිගටම තවත් යනවිට දොලොස්බාගේ වෙත යන මාර්ගයේ අති සුන්දර ස්ථාන රැසක් දැකබලාගත හැකියි. මෙම මාර්ගයේ ඇති වෙනත් දිය ඇලි කිහිපයක් :
  • කලුපහන ඇල්ල
  • දුම්මල ඇල්ල
  • රිකිල්ල ඇල්ල
  • රුක්මල් ඇල්ල
  • නලඟන ඇල්ල
  • දේවගිරි ඇල්ල
  • කෙල්වින් ඇල්ල
  • වින්ඩ්සර් ෆොරස්ට් ඇල්ල
  • දියතිරි ඇල්ල

 (ගම්මුන්ගෙන් අසා ප්‍රවිශ්ට මාර්ග අනුගමනය කළ හැකියි.)

2.       යටියන්තොට - පරුස්සැල්ල පාරේ ගොස් සීපෝත් පාරේ දිගටම කිලෝ මීටර 17ක් ගිය විට අති රමණීය ඕලු ඇල්ල දැක ගත හැකියි.

ඕලු ඇල්ලට ප්‍රථම තවත් දිය ඇලි කිහිපයක් දැකගත හැකියි.
  • වීඔය ඇල්ල
  • ගොරොක් ඇල්ල
  • කිතුල් ඇල්ල
  • නමක් නැති ඇල්ලක් ද වෙයි.




ඕලු ඇල්ල පිහිටා තියෙන්නෙ දොඹේගල කියන ගමේ. ගමේ කෙනෙක්ගෙ සහය ඇතිව ඕලු ඇල්ල ට මදක් ඔබ්බෙන් ඇති මාර්ගයේ ඕලු ඇල්ල තරණය කර ඕලු ඇල්ලේ ඉහල කොටසට ලඟාවෙන්නත් පුලුවන්.



ඕලු ඇල්ල අසල පිහිටි පාලමෙන් පහල කොටසට ඇතුලුවීමෙන් වලකින්න. බිලිගන්නා ස්ථානයක් ලෙස පහල අර්ධය සලකනු ලබනවා. ඕලු ඇල්ල ලංකාවෙ දිය ඇලි අතර 5වන උස හිමි දිය ඇල්ල වන අතර එහි අලංකාරත්වය නිසාම " ශ්‍රීලංකන් නයගරා ඇල්ල " ලෙසිනුත් එය හඳුන්වනු ලබනවා.
ඕලු ඇල්ලට පහතින් තිබෙන මිනි හයිඩ්‍රො විදුලි බලාගාරෙට යන්න පුලුවන්නම් සම්පූර්ණ දිය ඇල්ලේ දර්ශනයක් ලබාගත හැකි වනවා.
ඕලු ඇල්ලට මීටර 750ක් පමණ පෙර ඇති ඕලු ඇල්ල රෙස්ට් ඉන් හෝටලයෙන් ආහාර ලබාගත හැකි අතර එහි පහල අති වී ඔයේ ආරක්ෂිතව ස්නානය කිරීමටද හැකියාව පවතිනවා.


දැන් අපි වවුලගල දෙසට හැරෙමු....


ඕලු ඇල්ල පසුකර කිලෝමිටරයක් පමන යනවිට දේවාලයක් හම්බවෙනව එතනින් එහාට යද්දි අමනාවල ඉස්කෝලෙ හම්බවෙනවා. එතනින් පහළට ඇති පාරේ යනවිට වීඔය හරහා ඇති පාලම හම්බවෙයි. එතනට වෙනකම් වාහනයක ගමන් කිරීමට පුලුවන්.  පාලම අසල ඇති යෝධ වතුර බටය දිගේ දකුණු දෙසට ඇති පාර තෝරාගන්න. එතැන් පටන් පාගමනින් වවුලගල තරණය ආරම්භ වෙනවා. මදක් දුර යනවිට බණ්ඩයියගේ කඩේ ගාවින් උඩට ඇති පඩි සහිත මාර්ගයේ යායුතු අතර. ඔබේ සහයට ගැමියෙකු ලබාගන්නේනම් වඩා උචිතයි. ( පියසේන අයියා කොහේදැයි කාගෙන් හරි විමසූවිට ඔහුගේ සහය ලබාගන්නත් පුලුවන්. )


තේ වතු මැදින් වැටෙන තරමක් දුෂ්කර මාර්ගයක වවුලගල මුදුන වෙත පැය 2කකින් පමණ ලගාවෙන්න පුලුවන්. වතුර රැගෙන යාම අවශ්ය නැත. ඕනෑතරම් දිය උල්පත් මග දිගට හමුවෙනවා. වතුර බෝතලයක් පමණක් රැගෙන යන්න.
මේ මාර්ගයේ කිලෝමීටර 3ක් පමණ ගියවිට බුලත්කොහුපිටිය දෙසින් පැමිණෙන මාර්ගය හම්බවෙනව. එතනදි කඩයක් දැකගත හැකියි. විස්කිරිඳා එහිදී ලබාගන්නත් පුලුවන් ඉතා රසවත් ආහාරයක්. මේ ගමනේදී ඔබට මදි නොකියන්න කූඩැල්ලන් නම් දැකගත හැකිවනවා එයින් ආරක්ෂාවීමට සන්ලයිට් හෝ සිද්ධාලේප රැගෙන යන්න අමතක කරන්නත් එපා.


වවුලගල ඉහළ කොටසට ගිය විට සුන්දර බුලත්කොහුපිටිය සිට නන් දෙස දර්ශන ඔබට දැකගන්න පුලුවන්. මින් කිහිපයක් නම් :

වී ඔය



අමනාවල ගම්මානය ( චයිත්‍ය්ය )


 ඕලු ඇල්ල සහ තවත් දිය ඇලි කිහිපයක්


කදු පන්ති අතරින් කැළණි ගඟ


වේවැල්තලාව ITN සම්ප්‍රේෂණාගාරය

සහ තවත් ස්ථාන රාශියක් දැකගත හැකියි. බයිනෙත්තුවක් රැගෙන යාම දර්ශනයන් පහසු කරයි. මෙම කඳු මුදුනට පැමිණීම උදේ කාලයේ සිදුකිරීම නුවණට හුරුයි. හවස් කාලයේ ඇතැම්විට වර්ෂාව ඇතිවිය හැකි නිසා අකුණු වලින් අනතුරු සිදුවිය හැක.

තවද මෙහි කෑම්පින් සිදුකිරීමට ද ඉතා උචිත ස්ථානයක්. ගල්තලාව එයට කියාපු තැනක් උනත් වැසි සහිත දිනවල එහි රැඳීසිටීම සිදු නොකලයුතු දෙයක්. අකුණු වැදී ගල් පතුරු තැන තැන ඇති අයුරු උඩදී දැකගත හැකියි. කෙසේ නමුත් පානීය ජල උල්පත් ඉහළ කොටසේ උවද සොයාගැනීම අපහසු කටයුත්තක් නොවන හෙයින් කෑම්පින් සඳහා ඉතා සුදුසු තැනක් තමයි වවුලගල.





0 අදහස්:

Post a Comment

Music

manokaya.tk

www.blog.dulithkasun.com