ජනප්‍රවාද හිනිදුම්පත්තුවේ ගම් නම් හැදුන හැටි
හිනිඳුම්පත්තුව ගාල්ල දිසාවට අයත් සිංහරාජ වන අඩවිය සීමා කරගත් ඉපැරණි ගම්මාන සහිත කඳු පියසකි. මෙහි ගමනාගමනය එකල අතිශය දුෂ්කර වූයේ ගිංගඟත් එයට එක්‌වන ඇළ දොළ ජල දහරාත් ඇති බැවිනි. ඇළ දොළට යෙදූ ඒ දණ්‌ඩකින් යැමට සෑම නිවසකටම අවශ්‍ය විය. ගිංගඟ හරහා එල්ලන ලද වැල් පාලම් එකල විය. ඒවාට "කොළව" යනුවෙන් නම් තැබිණි. මේවා පසු කාලයකදී කම්බි පාලම් බවට පත්වී අද කොන්ක්‍රීට් පාලම් වී ඇත.
ගංගාවේ තොටුපළවල් සඳහා එකල වූයේ "අඟුල" නම් වූ අවදානම් ලී දණ්‌ඩකි. හබල් ගසා එය පැද්ද යුතුය. පෙරළුනොත් අවදානම්ය. මෙවැන්නක් මෑතක් වනතුරු පණංගල රද්දල්ගොඩ තොටුපළේ විය. සිංහල රජ කාලේ උඩරට රාජධානියට සම්බන්ධව හිනිදුම්පත්තුව පැවතුනි. උඩරට සිරිත් විරිත් අදත් මෙහි වැසියන්ගේ චාරිත්‍ර වාරිත්‍ර අතර වෙයි. වරක් රාජසිංහ රජතුමා සිංහ රාජය හරහා ඇතෙකු පිට නැගී නෙළුව ඇඹලගෙදරට පැමිණ තිබේ. එම ඇතා දම්වැල් දමා බැඳ සිටිය දැවැන්ත කොස් ගසේ මුල මෑතක් වනතුරුම ඇඹලගෙදර විය. නෙළුව පාලමට නුදුරුව මේ ගම ඇත.
විජය බාහු රාජකුමාරයා සේනාවක් සමඟ පලාගොස් සැඟවී සිටියේ "තඹලගම" ය. මේ නම ඉතිහාස පොතෙහිද ඇත. රාජමහා විහාරයක් බටුවන්ගල පිහිටියේය. සබරගමුව දිසා මායිම පිහිටි ගමට අද හබරකඩ යයි කියති. කඩයිම් ගල පිහිටි ගමට කඩිහිංගල යයි කියනු ලැබේ. මෙය කළුබෝවිටියන්කන්ද සීමා කරගෙන ඇත. එහි පාලකන්ද නමින් පැරණි ගම්මානයක් වෙයි. ඊට නුදුරින් "දේවාලේගම" පිහිටියේය. මෙහි ගම් නම් හැදුන හැටි ගැන දැන් විමසා බලමු. බොහොමයක් ගම් ගස් වර්ගවල නාමයෙන් හැඳින්වෙයි.
මිල්ලව - මිල්ල ගස් නිසාය.
දෙල්ලව - බැදිදෙල් ගස් වැඩි වූ නිසාය.
කඩිහිංගල - කඩයිම්ගල කඩිහිංගල වී ඇත. කඩයිම නිසාය.
ලේල්වල - ලේල්ලුන් පිරි වළක් වූ බැවිනි. ලේල්ලුන් අදත් සිටී.
බරණිවල - රජ අබරණ බරණයක ලා දියවළක දමා ඇති නිසා යයි කට කතාවට කියයි. බරණියක් වැනි රවුම් ආවාටයක් ඇති නිසා මේ නාමය ගමට වූ බව ද පෙනේ.
නෙළුව - නෙළු නමැති කුඩා ගස් වර්ගය නිසාය.
හප්පිටිය - හිප්පිටිය හප්පිටිය වූ බව කියයි. තේරුම අප්‍රකටය. පැරණි කල අංවිටි, පොල්විටි තිබෙන්නට ඇත.
කොස්‌මුල්ල - කොස් ගස් ගැවසීගත් නිසා.
කීණියාවල - කීන ගස් වූ නිසාය.
මාවිට - මහඕවිට මහෝවිට මහවිට වී ඇත. ගඟ අසබඩය.
ගිගුම් මඩුව - අතීතයේදී නැටුම් ගැයුම් ගී සාලා තිබුණ ගමයි.
"නැටුම් ගැයුම් ගී සාලා ඉමක් නැතී ගිගුම් මඩුගමේ අවුරුදු යන්ට යතී."
හබරකඩ - හබරගමුවට මායිම නිසා.
මාවනාන - තේරුම ඇපහැදිලිය.
පොල් බිඳෙන කොත - පා ගමනින් කඳු මුදුනට යනවිට ගෙන යන පොල් ගෙඩිය බිඳී පිටදිගේ ජලය බේරී යන වග කියති.
දෙහිගැටදොළ - පැරණි යාග හෝම පැවැත්වූ ස්‌ථානයකි.
තවලම - කරත්තවල බඩු පුරවා හෝ ගවයින්ගේ පිටේ බඩු පටවාගෙන යන ගමන රාත්‍රි කාලයේ නතර කළ ස්‌ථානය. මීට නුදුරින් පැරණි අම්බලමක්‌ද තිබිණි.
හිනිදුම - උස් කඳු පිහිටි බිම, හිනිදුම කන්දක දැනට කල්වාරි පුදබිම පිහිටා තිබේ.
පනංගල - පණයංගල පනංගලය. අතීතයේදී ගිංගඟ දිගේ පහුරෙන් ගොස් එක්‌තරා ස්‌ථානයක පිහිටි ගලක් මත මුදල් කාසි පූජා කළ ගලක් නිසා පණයංගල පණංගල වී තිබේ.
කෝරළේගම - කෝරාළ හිටි ගම
රද්දැල්ගොඩ - ගිංගඟ අද්දරය නාමයේ අරුත අප්‍රකටය.
තලන්ගල්ල - තලන්ගොල්ල තලන්ගල්ල වී ඇත. තලන් නමින් තුරු විශේෂයක් ඇත.
මල්ගල්ල - මල්ගොල්ල මල්ගල්ලය. තැනිතලා බිම් කඩකි.
හල්විටිගල - හැල්වැටිගල හල්විටිගල විශාල ගිරි කුළක් ඇත. එය වටා හැල් කුඹුරු තිබේ. මේ හැල් අතීතයේදී කුඩා ජලාශයන් වන්නට ඇත. යුද සමයේදී ගල මත සුදු කොඩියක් සවිකර තිබුණ වග ගම්මු කියති. ඒ යකඩය අදත් ඇත. ගිරිලෙන් විහාරයක්‌ද මේ ගමේ ඇත.
ඕපාත - ඔය පහල යන අර්ථයෙනි. බාණගලින් ගලා යන ඔයක් තිබේ. මෙය හුලන්දාවෙන් නිල්වලා ගඟට වැටෙයි.
වීරපාන - වීර පහන වීරපාන වී ඇත. ප්‍රාදේශීය නායකයෙක් කලක් මෙහි ජීවත් වී තිබේ. එම වීරයා සිටි ගල වීරපහන යයි නම්වීමෙන් ගමට නාමය සැදී තිබේ. මෙතෙම නාග ගෝත්‍රිකයකු විය හැකිය.
"වීරපාන ගල්දෙබලෙන් ආ නයි දෙන්නා නයාදොලේ වැට බිඳිමින් හාලිඇලට පැන්නා."
මේ ගැමි කවි දෙපදයෙන් කියවෙන්නේ ඉතිහාස තොරතුරක් විය යුතුය.
ගිගුරුව - ගිගුරුව නමින් පැරණි ගමක් ඈත. අතීතයේ යුධ බිමක් වන්නට ඇත. පැරණි රාජ සේනාවක් පනාකඩුව හරහා රුවන්කන්දට පැමිණ එතැනින් සේනාව රැස්‌කරවා ගෙන බටුවන්ගල කොස්‌මුල්ල කැළෑ බිම හරහා ගොස් ඇත්තේ තඹලගමටය. යුද සෙබළුන් ගම්වල නතරවීමෙන් ඔවුන්ගේ පෙළපත් නාමය අද මෙහි ගම්මුන්ට තිබේ. වික්‍රමසිංහ සිරිවර්ධන කාරිය කරවන විඡේනායක විඡේ වන්ත ජය වික්‍රම ආදී පෙළපත් නාම මෙහි තාමත් පවතියි. එමෙන්ම විවිධ ශිල්ප කලා ශාස්‌ත්‍රයන්හි නිපුන පරම්පරාවන්ද වෙති. මේ ගම්මුන්ගේ කාරුණික ගුණය ඉතා උතුම් වෙයි. ගිංගඟ ඉහත්තාවේ සිංහරාජය ආසන්නයේ "ලංකාගම" නමින් සුන්දර ගම්මානයක් ඇත. අතීතයේදී පැණි හකුරු කර්මාන්තයෙන් මෙහි ගැමියන් සුළු පිරිස ජීවත් වූහ. මාර්ග පහසුවත් තේ වගාවත් නිසා අද මේ ගම්මානය සුරපුරයක් වැනිය. "ලංකාගමින් ලංකාවට" නමින් ගුවන් විදුලි වැඩසටහන් මාලාවක් එකල ඉතා ජනප්‍රිය විය.
- මුල් කතෘ නොදනී.
0 අදහස්:
Post a Comment